මගෙ යාලුවෝ

Friday, January 25, 2013

34. මොනරවිල


'සිවුර අතහැරලා රජකම බාරගෙන අපි උපන්න රටත් සාසනයත් බේරගන්ට මුල් වෙන්ට අපෙ   හාමුදුරුවනේ... මහන දම් පුරනවාට වඩා ඉක්මනින් නිවන් දකින්ට ඒ පින සෑහෙයි .. මුලු කන්ද උඩරටම ගෙරි සුද්දන්ට එරෙහිව නැගී හිටින්ට සැරසිලයි ඉන්නේ ... උන්ට නායක වෙන්ට සුදුසු ඇත්තෙක් විතරයි අඩු ... ඒකට ඔබ වහන්සෙගෙ කැමැත්ත දෙන්ට හාමුදුරුවනේ ...'

කිවුලෙගෙදරගේ තියුණු කටහඬ සිය දෙකන් සිදුරුකර කිඳා බසිනු විල්බාව තෙරණුවනට දැනිනි. සුදු පාලකයින් අතින් මැකීයන සිංහලකමත්, නිගා ලබන බොදු දහමත් ගලවා ගන්නා සටනට නායකත්වය දීමේ කැමැත්තක් තමන් තුළ වැඩී ලියලිතියි උන්වහන්සේට සිතිණි.

                   *            *            *            *

හිඳ සිටි අසුනෙන් නැගී සිටි කිවුලේගෙදර වලව්වේ ඉදිරි පිලේ පියගැට පෙළ මත සිට ඈතින් පෙනෙන කුඹුරු යාය හා ඉන් සීමාවන අඳුරු වනයත්, ඊට ඉහලින් පෙනෙන නිල් කඳු යායත් සිසාරා බැලීය. ගනව වැඩුනු උඩු ‍රැවුල සුරතේ ඇඟිලි තුඩින් දෙපසට පීරා සකසා ගත් ඔහු මදක් නිහඬව සිටියේය.

කිසියම් අවදානම් ගැඟීමකින් සිය හදවත බරව තිබෙනු කිවුලේගෙදරට දැනෙයි. රටේ පාලනය පෙරළා දමන්නට ඇරඹෙන සටනක් කෙසේ අවසන් වේදැයි කිව නොහැකි වුවද, ඒ අවදානම දරාගන්නට සිදුව ඇතැයි ඔහුට සිතෙයි.

'මේක අපට අයිති, අපි උපන්න රට ... පරම්පරා ගණනක් අපි හැදුනෙ වැඩුනෙ මේකෙ හැදෙන දෙයක් කාලා, මේකෙම දුව පැන ඇවිදලා ... අපිට වැඳ වැටෙන්ට අපේම කියලා රජෙක් හිටියා ... රට්‍ටුන්නෙන් අපි ගරු නම්බු ලැබුවා ... ඒ සේරම නැතිවෙන්ට යනකොට මරාගෙන මැරෙනවා ඇරෙන්ට වෙන කරන්ට දෙයක් අපට නෑ ...'

                       *                 *               *                *

'මේක රාජකාරියක් ... ඉංගිරිසි ආණ්ඩුව පෙරලන්ට තනන හොරෙක් අල්ලන්ට අපට නියෝග ලැබිලා තියෙනවා ... ඒක වලක්වන්ට තනන උඹලා ඇන්න ගිහින් මම දඬු කඳේ ලනවා ...'

'මේක බොල අපේ සිංහල රට ... මින් මත්තට අපිව දඩු කඬේ ලන්ට තොටවත්, උලව් ඉංගිරිසි ආණ්ඩුවටවත් බැරි බව දැනගං ... අපිට දැන් අපේම රජෙක් ඉන්නවා ...'

බකිනිගහවෙලගේ ආවේගාත්මක හඬින් පොළඹවන ලද අවට ‍රැක සිටි සිංහල පිරිස, කෙමෙන් හජ්ජි ඇතුලු පිරිස වෙත සමීප වෙමින් සිටියහ. තව දුරටත් ප්‍රමාද වීම තම අවාසියට හේතුවන බව සැනෙකින් වටහාගත් හජ්ජි, පිරිස මෙහෙයවන බකිනිගහවෙල රාළ වෙතම නෙත් රඳවා ගනිමින් සුරත ඔසවා පි‍ටුපසින් සිටි තම පිරිසට සන් කළේය.

                        *                   *                    *                    *

'ඉංග්‍රීසි ආණ්ඩුව උඩරට යටත් කරගත්තේ උඹලාගෙම නායකයින්ගෙ ඉල්ලීම නිසා ... උඹලාගෙ රජතුමා කරපු අමනුස්ස හිංසාවලින් උඩරට වැසියො බේර ගන්ට ... සිංහලකමත්, බුද්ධාගමත් ආරක්ෂා කරලා, වද හිංසා නවත්වන්ට උඩරට ගිවිසුමෙන් ඉංග්‍රීසි ආණ්ඩුව බැඳිලා ඉන්නවා ... සාමය ඇති කරලා කන්ද උඩරට දියුණු කරන්ට ඉංග්‍රීසි ආණ්ඩුව දරන වෑයමට  උඹලාත් උපකාර කරන්ට ඕනෑ...'

තානාපතිවරයාගේ අදහස් පෙරළා කීමෙන් කිසිදු පලයක් අත් නොවන බව ‍තෝල්ක මුදලි බැස්ටියන්ට දැනුන ද, ඔහු සිය රාජකාරිය කළ යුතු විය.

'සුද්දගෙ ඔය බන ගිහිං අපේ රට ජාතිය පාවා දීපු මහ නිලමෙලාටම දෙසන්ට කියාපිය ... වඩුගයා මිනී මරාපු බව ඇත්ත ... ඒත් අපේ කුල සිරිත්, ආගම දහම මකන්ට තැනුවෙ නෑ ... රට ජාතිය රකින මුවාවෙන ඇවිත් කන්ද උඩරට ගබඩාගම් පැහැරගෙන, අයබදු පනවලා අපිව හූරං කන එක ද බොල තොපේ උලව් ආරක්ෂාව ...? තව ටික කලක් පනපිටින් ඉන්ට ආසාවක් ඇත්නම් තමන්නෙ බැලයොත් ඇන්න ආපහු හැරෙන්ට කියාපං උඹේ තානාපතියට ... අපට දැං අපේම රජෙක් ඉන්නවා ...'

පුපුරා හැලෙන කොහුකුඹුර දෙස බලා සිටි විල්සන්ට කැරළිකරුවන් සමග සාමයක් ඇතිකර ගැනීමේ අදහස මුලුමනින්ම තම සිත තුලින් මැකී යනු දැනිණි. කතාබස් කර සමනය කර ගැනීමේ සීමාව ඉක්මවා කැ‍රැල්ලෙහි ප්‍රචණ්ඩත්වය මෝරා ඇතිබව ඔහු පළමු වරට වටහා ගත්තේය.

                         *                    *                        *                      *

' කෝ මැණිකෙ දරුවො දෙන්නා ... ?' හදිසියේ සිහිපත් වූවාක් මෙන් කැප්පෙටිපොල විමසුවේය.

'අප්පච්චි ආවහම ඇහැරවන්ට කියලා දෙන්නා කලින්ම නිදන්ට ගියා ... ඇහැරවන්ට ද ...?'

'නෑ ... එපා ... ' කැප්පෙටිපොල මදක් නිහඬව සිටියේය. ' රට ජාතිය, ආගම පාවාදෙන ගිවිසුමකට අත්සන් තියලා,  පරගැත්තෙක් විදිහට මේ කරන රාජකාරිය මගෙ හිතට ලොකු බරක් මැණිකෙ ... එක කුස උපන්න මගෙ සහෝදරී දරු පැටවුනුත් එක්ක මරාදාපු, උන්මන්තකයෙක් විදිහට රට කරවපු වඩිගයාගෙ පාලනය ඉවරයක් කරන්ට මිසක්, වෙන වාසි ප්‍රයෝජනයකට මම ඒ උලව් ගිවිසුම අත්සන් කලේ නෑ ...'

'ඒක ඒ වෙලාවෙ හැමෝම එකඟ වෙලා ගත්ත තීරණයක් නේ ... අපෙ ඇත්තො .. 'සිය සැමියාගේ සිත සනසන අටියෙන් එතනහාමි කීවාය.

'මට වෙලාවකට මේ රාජකාරිය අතහැර දාන්ට හිතෙනවා මැණිකේ ... ' කැප්පෙටිපොල ආවේගශීලීව කීවේය.

                       *                            *                         *                         *

'කැ‍රැල්ලට එකතුවෙලා ඉන්න ගම්මු තමන්ගෙ දරු පවුල්, වී කුරහං සේරම කැලේ හංගලා ... තත්වය පාලනය කරගන්ට තියෙන එකම විදිහ ගම් දොරවල් ගිනි තියලා වනසන එක .., අපි ඒක හෙටම පටන් ගන්නවා ... ' තමා යටතේ වූ හමුදා කණ්ඩායම්වල අණ දෙන නිලධාරීන් කැඳවූ මැක්ඩොනල්ඩ් දැනුම් දුන්නේය.

' ඒ වගේම අපිට ඉදිරි කාලයට උවමනා ආහාර හැකිතරම් ‍රැස් කරගන්ටත් සිද්ද වෙනවා. ගම්වල ඉතිරිවෙලා තියෙන වී කුරහං, හරකාබාන වගේ ආහාරයට ගන්න පුලුවන් දේ සේරම ගේන්ට ඕනෑ ...' රිචි සිහිපත් කළේය.

                       *                              *                       *                           *

'වෙල්ලස්සෙ කැ‍රැල්ලට එකතුවෙලා ඉන්න සේරම දැන් බලාන ඉන්නෙ යුද්දෙකට නායකත්වය දෙන්ට පුලුවන් උඩරට සිංහල නිලමක්කාර ඇත්තෙක් රජ්ජුරුවන්ට එකතු වෙනකම්... ' පුංචිරාල තම සිත තුළ සඟවාගත් යටි අරමුණක් ඇතිව කතාකරන්නේයැයි කැප්පෙටිපොලට වහා දැනිණි. ඔහුගේ කතාවෙහි කිසියම්  ඇරයුමක් ද ඇත්තේයැයි ඔහුට සිතෙයි.

'උඩරට ගිවිසුමට අත්සන් තියලා ඉංග්‍රීසි ආණ්ඩුවට එකතු වෙලා ඉන්න නිලමක්කාරයෙක් කැ‍රැල්ලට එකතු උනොත්, උන්දැට තමන්ගෙ රට ගම දේපල විතරක් නෙමෙයි අඹුදරුවොත් නැත්තටම නැති වෙලා අන්තිමට දංගෙඩියටත් බෙල්ල තියන්ට සිද්ද වෙනවා නියතයි ...' කැප්පෙටිපොල අනාගතය දකිමින් කීවේය.

'රට ජාතිය ආගම වෙනුවෙන් ඊට වඩා දේවල් උනත් කැප කරපු උත්තමයො ඉතිහාසය හිටියා අපෙ නිලමෙ ඇත්තො ...'

'පුංචිරාල ... ‍තෝ මට ඉතිහාසයත් උගන්නන්ටද තනන්නෙ ...? කැප්පෙටිපොලගේ  උස් හඬ ඉදිරියේ පුංචිරාල කරබා ගත්තේය.

                           *                        *                     *                        *

'අපේ රාජෝත්තමයා ගැන විස්වාසය තියලා අපිත් එක්ක උන්වහන්සෙ ලඟට යන්ට එන්ට අපෙ හාමුදුරුවනේ ... එහෙම නොවුනොත් ..'

'එහෙම නොවුනොත් ...? ඇයි තොපි මක් කරන්ටද ...?'

කොහුකුඹුර කැප්පෙටිපොල වෙත පිළිතුරක් දෙන්නට පෙර දෑත් එක්කොට ළයමත තබා වැඳ ගත්තේය. 'තරහා අවසර අපෙ හාමුදුරුවනේ ... පන්දහසක් කල් පවතින ආගම, රට ජාතිය වෙනුවෙන් ඔබ වහන්සෙගෙ හිස ගෙනිහින් අපේ රාජෝත්තමයාගෙ දෙපා මුළ තියනවා ඒකාන්තයි ...'

කැප්පෙටිපොලගේ මුවට පළමුවරට මද සිනහවක් නැගුනේය. 'මේ මොනරවිල මැරෙන්ට බය ඇති මිනිහෙක් නොවෙයි බොල. .. සුද්දගෙ තුවක්කු කෙටි හත අටකුත් ඇන්න දෙතුන් සීයක් මුණ ගැහෙන්ට ආවෙ සිංහලයෙක් හැටියට තොපිත් තොපේ රජ්ජුරුවො ගැනත් විස්වාසයෙන් ..' කැප්පෙටිපොල මදක් නැවතී දිගු හුස්මක් ගෙන ළය පුරවා ගත්තේය. 'මගෙ නායකත්වය නිසා එක මොහොතකට හරි ආගම, රට ජාතිය ‍රැකෙනවා නම් මගෙ අඹු දරුවො ... දේපොල ... ජීවිතය ගියත් ඒ යුතුකම ඉෂ්ට කරනවා ...'

කැප්පෙටිපොල ආපසු හැරී තම පිරිස දෙස බැලුවේය. ඔව්හු සියල්ලෝම මුව අයාගත්වනම දෑස් දල්වා තමන් දෙස බලා සිටිනු ඔහුට පෙනිණි. ඉදිරිපස බැලූ ඔහුට කොහුකුඹුර ඇතුලු පිරිස ද තම මුවින් අවසන් තීන්දුව කියැවෙනතෙක් බලා සිටිනු පෙනේ.

'මගෙ හිස උඹලට ලැබෙන්නෙ නෑ ... මින් මත්තට මගෙ නායකත්වය ලැබෙයි ...'

පිරිස මොහොතක් තුෂ්නීම්භූතව සිටිනු ද, අනතුරුව සියල්ලන්ම එක්ව තමන් ඉදිරියේ බිම ඇද වැටී වැඳ නමස්කාර කරනු ද කැප්පෙටිපොල බලා සිටියේය. නැගී සිටි සිය ගණනක් වූ පිරිස සිය දුනු හී, කඩුපත් අහසට ඔසවා ලෙළවා නැගූ රණගොස බොහෝ වේලාවක් පවතිමින් ඈත නමුණුකුල හා ලුණුගල කඳුවල වැදී දෝංකාර දුන්නේය.

                         *                      *                     *                         *

'අපි ඒ සටන ගෙනගියේ කාගෙවත් දෙයක් කඩා වඩා ගන්ට නොවෙයි ... පරම්පරා ගණනක් තිස්සේ භුක්ති වින්ද නිදහස ‍රැක ගන්ට විතරයි අපට උවමනාවුනේ ... මිනිහෙකුට උපන්න දා ඉඳලා දැනුන නිදහස එක පාරටම නැතුව ගියහම මරාගෙන මැරෙන්ට හිතෙන එක අරුමයක් නෙමෙයි ...' තමන් රඳවා සිටි සිර කුටිය වෙත පැමිණි හමුදා වෛද්‍ය හෙන්රි මාෂල් ට කැප්පෙටිපොල කීවේය. 'කැ‍රැල්ලට එකතුවුන හැම නායකයෙක්ම සටන් කළේ සිය කැමැත්තෙන් ... කාගෙවත් බල කිරීමකට, ලාබ ප්‍රයෝජනයකට  නෙමෙයි ... '

'ඒත් මොනරවිල, සටන්වලදි කැරළිකරුවන් නිතරම පැරදුනා ... ඒ බව මුළදිම තේරුම් ගත්තා නම් ලොකු විනාශයක් වලක්වා ගන්ට තිබුනා ...' හෙන්රි පිළිවදන් දුන්නේය.

'අපි සටන් කලේ හේවායන් මරලා සටන දිනාගන්ට නෙමෙයි ... ඉංග්‍රීසි පාලනයට අපේ විරෝධය පාලා ආපහු යවාගන්ට විතරයි ... මිනී මරන්ට පුහුණු කරපු හමුදාවක් එක්ක සටන් කලේ එදිනෙදා ගොවිතැන් බතක් කරගෙන ඉතාම සාමකාමීව හිටපු පිරිසක් ... හාවෙක් මීමින්නෙක් වත් මරාගන්ට උන්ගෙන් වැඩි දෙනෙක් පුරුදුවෙලා හිටියෙ නෑ ... ඒ වගෙ පිරිසක් යුද්දෙකදි පැරදෙන එක බලාපොරොත්තුවෙන්ට ඕනෑ දෙයක් ...' කැප්පෙටිපොල කීවේය.

                             *                  *                       *                        *

කැප්පෙටිපොල ගේ හා මඩුගල්ලගේ හිස් ගසා දැමීමෙන් පසු යන්නට පිටත් වූ ලුතිනන් මැකන්සි ආපසු හැරී කැප්පෙටිපොල ගේ කවන්ධය මත තබා තිබූ හිස දෙස බැලුවේය. ප්‍රාණය නිරුද්ධව තිබුන ද, අඩවන්ව තිබූ කැප්පෙටිපොල ගේ දෑසෙහි ඒ මොහොතේ ද ඔහු දු‍ටුවේ සිරකරුවෙකු ලෙස කැප්පෙටිපොල ඔහුට භාර වූ තැන් සිට අවසානය දක්වාම ඔහුවෙත වූ උපශාන්ත, පෙනුමයි. සිය රට, ජාතිය, හා ආගම වෙනුවෙන් දිවි දුන් ජන නායකයෙකුගේ උදාර ප්‍රභාව, මියගිය ද කැප්පෙටිපොල ගේ මුහුණේ නො අඩුව ඇත්තේයයි ඔහුට සිතිණි.

බ්‍රිතාන්‍ය කිරීටයට එදිරිව කැරළි ගසා හිස් ගැසුම් කෑ අන්‍ය ජාතිකයෙකුට ආචාර කරන්නට ඉංග්‍රීසි ජාතික සොල්දාදුවෙකු ලෙස ලුතිනන් මැකන්සිට අවසරයක් නොතිබුනද, ඔහු සිතින් මොනරවිල කැප්පෙටිපොල ඉදිරියේ සීරුවෙන් සිට සිය ආචාරය පුද කළේය.


                               *                   *                        *                       *

                             යාලුවනේ මගේ 'මොනරවිල' පොත, ජනවාරි 29 වැනි අඟහරුවාදා පෙරවරුවෙ , මරදානෙ ආනන්දය ඉස්සරහ එස්. මහින්ද හිමි මාවතේ දයවංශ ජයකොඩි සහ සමාගමේ දී එලි දැක්වෙනවා. විවේකයක් ඇත්නම් ඒ පැත්තෙ ඇවිත් යන්න එන්න.


Wednesday, January 16, 2013

33. විශ්වණී ගෙ සිතිවිලි


 පාසලේ යාලුවන්ගෙ ඇසුරෙන් මිදිලා ගෙදර එන පුංචි විශ්වණී ගෙ සවස් කාලය ගතවෙන්නෙ ටීවී එකේ කාටූන් චරිතත් එක්ක. කාටූන් කතාවල ඉන්න චරිතවලට බෙහෙවින් ඇලුම් කරන ඇයට ඒ චරිත අපූරුවට සිතුවම් කරන්නත්, ඉතාම නිර්මාණශීලීව කතා ලියන්නත් පුලුවන්. අවට සිදුවෙන දේ නිහඬව බලා ඉඳලා සියලු දේ තමන්ගෙම රටාවකට උකහා ගැනීමේ සංවේදීබවකුත් ඇයට තියනවා. මම මීට කලින් ලියාපු 'අහිංසක උකුණු පැටියා'  කතාවෙ, කතා නායිකාවත් ඇයමයි.

විශ්වණීගෙ දවසේ යුද්දෙ පටන්ගන්නෙ අම්මා ගෙදර ආවහම. පෞද්ගලික ආයතනයක ‍රැකියාව කරන ඇය ගෙදර එන්නෙ රෑ කරුවලත් එක්ක. ඒ විශ්වණී කාටූන් චරිතවලින් සමු අරගෙන තියෙන දෙයක් කාලා නිදාගන්න හදන වෙලාව. අම්මා ගෙදර ආපු ගමන් කරන්නෙ විශ්වණීගෙ පාසල් බෑග් එක අතට ගන්න එක. ඒ දක්වාම කෙල්ල හෙට දවසේ ගෙදර වැඩ මොකුත්ම කරලා නැති බව දැක්කහම අම්මට මල පනිනවා.  ඊ ලඟ පැය කීපය ගත වෙන්නෙ අම්මගෙයි දූගෙයි රොස් පරොස්, ආඩපාලි සහ කං කෙඳිරිවලට. ගෙදර වැඩ කරලා ඉවරවෙනකම් විශ්වණීට නිදා ගන්න නම් ඉඩක් ලැබෙන්නෙ නෑ.

අම්මා වැඩ කරන ආයතනයෙම ‍රැකියාව කරන විශ්වණීගෙ තාත්තා, පවුලේත් විධායකයා. කරන කියන දේ නූලට සැලසුම් කරන ඔහු, තමා අවට සිදුවන සියලු දේ නිවැරදිව සිදුවිය යුතුයැයි බලාපොරොත්තු වෙනවා. යමක් වැරදුනොත් ඊට වගකිවයුත්තාට ඔහුගෙන් සමාවක් නෑ.

ගෙදර කාර් එකෙන් ගමනක් ගිය අම්මා දවසක් පාරෙ ගිය වෙන වාහනේක කාර් එක ඇන ගත්තා. බරපතල නොවුනත් රෙපයාර් එකට ටික දවසක් ගත උනා. ‍රැකියාවේ කාර්ය බහුලබව අස්සේ කාර් එකේ අලුත්වැඩියාව ඉක්මනින් කරවා ගත්තු  විශ්වණීගෙ තාත්තා, ඒක අරගෙන එන්න ගැරේජ් එකට යැව්වේ ඔහුගේම පියා. ටිකක් වයසක උනත් විශ්වණීගෙ සීයා, නිතර සිනහමුසු මුහුණින් ඉන්න,  ඉතාම ප්‍රියමනාප පුද්ගලයෙක්.

ගරාජයේ ඉඳලා ආපු වාහනය සෙමෙන් ඇවිල්ලා ගේ ඉස්සරහ නැවැත්තුවා. ඊලඟට රියැදුරුගෙ පැත්තේ දොර ඇරිලා විශ්වණීගෙ සීයා එලියට ආවා. ඒත් ඔහුගෙ මූණේ සුපුරුදු සිනහව දකින්න නෑ. අමුත්තක් දැනුනු කවුරුත් වාහනය ලඟට ගියා. වාහනයේ තැලිලා පොඩිවෙලා තිබුණු තැන් හොඳට හදලත් තියෙනවා. කොයි එකටත් විශ්වණීගෙ තාත්තා වාහනේ වටේ රවුමක් කැරකිලා බැලුවා.

එතනින් තමයි මේ කතාවෙ ඊලඟ පරිච්ඡේදය පටන් ගන්නේ.

ගරාජ් එකේ ඉඳලා එන ගමන් සීයගෙ අතින් ආයෙත් කාර් එක වෙන වාහනේක ඇනිලා, එක දොරක් හීරිලා පැති කන්ණාඩිය චප්ප වෙලා. කතාවෙ ඊලඟ හොඳම ටික අපට කියවන්න පුලුවන්, සිදු වූ සියල්ල නිහඬව බලාගෙන ඉඳලා  තමන්ට හිතුනු, දැනුනු දේ කොල කෑල්ලක ලියලා, ඒක තව දුරටත් පැහැදිලි කරන්න චිත්‍රෙකුත් ඇඳපු විශ්වණීගෙම වචනවලින්. කොල කෑල්ල අම්මගෙ අතට දීලා 'මේක මම නිදා ගත්තට පස්සෙ තාත්තට දෙන්න' කියලා, ඇය ඇඳට ගිහිල්ලා නිදා ගත්තලු.

විශ්වණී ඉංග්‍රීසියෙන් ලියාපු සටහනේ ස්කෑන් කරපු රූපයක් මේ තියෙන්නෙ. ඒකෙ කියවෙන්න මේ වගේ අදහසක්.

"කාර් නිසා මිනිස්සු සිරගත වෙති"

' සමහර අය තමන්ගෙ අඹු දරුවන්ට ආදරය කරනවාට වඩා, තමන්ගෙ කාර් එකට ආදරය කරති. සමහර අය තමගෙ පුංචි දරුවා කාර් එක හීරුවොත්, දරුවන්ට බැන වදිති. සමහර අය තමන්ගෙ බිරිඳගෙ කාර් එක හීරුනොත්, නැත්නම් පැති කන්ණාඩිය කැඩුනොත්, රියැදුරාවුනු තමන්ගේම පියාට බැන වදිති !

මිනිස්සු වැඩකට නැති කාර් නිසා තමන්ගෙ ආදරණීයයන්ට, තමන්ගෙ දෙමාපියන්ට පවා බැන වදිති !

මේ කාර් හරියට කරදර දෙනවා.  කාර් හුඟක් වටිනවා, ඒත් ආදරණීයයන් හා දෙමාපියන් ඊට වඩා වටිනවා. ආදරණීයයන් හම්බ වෙන්නෙ කලින්, කාර් ලැබෙන්නෙ පස්සෙ, ඒත් සමහර අය ආදරය කරන්නෙ කලින් හම්බවුනු ආදරණීයයන්ට නෙමෙයි, පස්සෙ හම්බවුනු වැඩකට නැති කාර් වලට !

විශ්වණී ගෙන් '

අපේ දරුවෝ සමහර වෙලාවට, ඔවුන්ගෙම ශෛලියෙන්, බොහෝ වටිනා පාඩම් අපිට උගන්නනවා. එහෙම වෙලාවට කරබාගෙන ඒවා ඉගෙන ගැනීම තමයි අපට කරන්න පුලුවන් හොඳම දේ. සිද්ධිය ඉතාම සුළු එකක් උනත්, විශ්වණී අපට උගන්නන පාඩමේ විශාල ගැඹුරක් තියෙනවා කියලා මට හිතෙනවා.

 (පසු සටහන - විශ්වණී කෙල්ලට මගෙ තියෙන සම්බන්ධය සටහන් කළොත් හොඳයි කියලා හෙන්රි මචං කියනවා (dude). ඒකි මගේ  නංගිගෙ එකම දරුවා.)