මගෙ යාලුවෝ

Tuesday, November 27, 2012

30. අලින්ට කොලර්

වනජීවී කතා අහන්න බ්ලොග් යාලුවන්ගෙ වැඩි කැමැත්තක් තියෙනවා වගේ පේන නිසා, මේ පාරත් අලි කතාවක් කියන්න හිතුනා.

අලි බැලිල්ලත්, බලි බැලිල්ල වගේම ඇති නොවෙන බැලිල්ලක් උනාට, ගෙවල් කඩන, මිනී මරණ අලි ඉන්න පැත්තකට ගිහිල්ලා අලි ගැන මතක් කෙරුවත් මිනිස්සුන්ට මල පනිනවා. සමහර පලාත්වල මිනිස්සු අලින්ගෙන් ඒ තරම්ම දුක් කරදර විඳිනවා. ඉතින් ඒ නිසාම වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවත් රටේ ඉන්න නාහෙට නාහන හොර අලි ටික පාලනය කර ගන්න නොවිඳිනා දුක් විඳිනවා. ඒත් කවදාවත්, කිසි කෙනෙක්ගෙන් හොඳක් නම් අහලා නෑ.

වන අලි කලමනාකරණයේදි උන් යන එන, ගැවසෙන තැන්, වසරක  ඍතු චක්‍රයක් තුළ භාවිතා කරන භූමි ප්‍රමාණය (නිවාස පරාසය - Home Range) වගෙ දේ ගැන නිවැරදි තොරතුරු ඉතාම වැදගත් වෙනවා. පලපුරුද්දෙන් ඒ වගේ තොරතුරු අපේ කස්ටිය දැනගෙන හිටියත් මෑත කලෙක ඉඳන් ඒ වගෙ තොරතුරු ලබාගන්න ඉතාම විද්‍යාත්මක ක්‍රමවේද දෙපාර්තමේන්තුව පාවිච්චි කරනවා. ඒ සඳහා ආචාර්ය පෘතුවිරාජ් ප්‍රනාන්දු (පෘතු) වගෙ බාහිර පර්යේෂකයන්ගෙ සහායත් උපරිමයෙන් ලැබෙනවා.

වන අලින්ගෙ සෘතු චලන රටාව ගැන (Seasonal Movement) නිවැරදි තොරතුරු ලබා ගන්න පාවිච්චි කරන එක ක්‍රමවේදයක් තමයි ගුවන්විදුලි සංඥා යන්ත්‍රයක් අලින්ගෙ බෙල්ලෙ එල්ලන එක. ඒකෙන් නිකුත් වෙන සංඥා අනුව අලියා ඉන්න තැන නිශ්චිතව දැන ගෙන සිතියම්ගත කරගන්න පුලුවන් (Radio Telemetry). කියන එක ලේසි උනාට ඒක කරන එක ලේසි කෙලියක් නෙමෙයි. ඒ වගෙ යන්ත්‍රයක් සවි කරපු කර පටියක් (Radio Collar) බෙල්ලෙ එල්ලනකම් උං උඩ බලාගෙන ඉන්නෙ නෑ.

දියුණු රටවල වන සත්තුන්ට ගුවන් විදුලි සංඥා යන්ත්‍රයක් පලඳවලා තොරතුරු ‍රැස් කරන තාක්ෂණය ගැන මුලින්ම අපිට අහන්න ලැබුනෙ 1980 දශකයෙ මුලදි උනත් දෙපාර්තමේන්තුව ඒ තාක්ෂණය භාවිතා කරන්න පටන් ගත්තෙ 1990 දශකයෙ මැදදි. ඒ කාලෙ දෙපාර්තමේන්තුවෙ ඒ පිළිබඳ උපදේශකවරයා උනේ ඉන්දියාවෙ කර්ණාටකයෙන් ආපු අජේ දේසායි. අලියෙක් පස්සෙ ගිහිල්ලා නිර්වින්දනය කරලා බිම
ඉස්සර මේ වගේ අතේ ගෙනයා හැකි
ඇන්ටෙනාවකින් තමයි සංඥා ලබා ගත්තෙ
පෙරලගෙන, සංඥා යන්ත්‍රය බෙල්ලෙ බැඳලා යවලා, ඊට පස්සෙ ඇන්ටෙනාවකුත් උස්සගෙන, යන්ත්‍රයෙන් නිකුත් වෙන සංඥාව ඔස්සේ අලියා පස්සෙ ගිහින් ඌ ඉන්න තැන දැනගෙන, සිතියමක සලකුණු කරගන්න අත්දැකීම අපි ඉස්සර වෙලාම ලැබුවෙ අජේ එක්ක.

ඉතින් ඒ ක්‍රමය භාවිතා කරලා අවුරුදු දෙක තුනක් එක දිගටම යන්ත්‍රයට බලය සැපයෙන බැටරියෙ ජීව කාලය තුළ, අලියා යන එන තැන් ගැන තොරතුරු සිතියම් ගත කරගන්න පුලුවන්. ඒ කාලෙ එකතු කරගත්ත තොරතුරු දෙපාර්තමේන්තුවෙ අලි කලමනාකරණ කටයුතුවලට ලොකු උදව්වක්වුනා. වන අලි රංචු ගැන තොරතුරු දැන ගන්න, රංචුවල නායක ඇතින්නියන්ටත්, අලි කරන හොර තක්කඩිකම් ගැන දැන ගන්න තනි පිරිමි අලින්ටත් සංඥා යන්ත්‍ර පලඳවලා තිබුනා. සාමාන්‍යයෙන් ඉක්මනින් වැඩෙන පොඩි පැටවුන්ට කොලර් දාන්නෙ නෑ, ටික කලක් යනකොට පටියට බෙල්ල හිරවෙන නිසා. පටිය ගැලවිලා වැටෙන වෙලාවලුත් තියෙනවා. එකපාරක් මින්නේරිය පැත්තෙ යන්ත්‍රයක් පලඳවපු අලියෙක්ගෙන් එක දිගටම එකම තැනකින් සංඥා ලැබුනා. අපේ කස්ටිය අලියා මැරිලා කියලා හිතලා හොයාගෙන යනකොට සංඥා යන්ත්‍රය සවි කරපු පටිය ගෙදරක ඇඳක් යට තිබිලා හම්බ උනාලු.  පටිය කොහොම හරි අලියගෙ බෙල්ලෙන් ගැලවිලා වැටිලා. ඒ ගෙදර මිනිහා කැලේ තිබිලා ඒක ඇහිඳගෙන ඇවිත් ඇඳ යට හංගගෙන.

මේ තාක්ෂණය මේ වෙන කොට හුඟක් දියුණු වෙලා. GPS (Global Positioning System) තාක්ෂණය සාමාන්‍ය භාවිතයට ආවට පස්සෙ දැන් ඒක අලින්ගෙ රේඩියෝ කොලර්වලටත් යොදා ගන්නවා. අලියට පලඳවන GPS සංඥා යන්ත්‍රය අහසෙ රඳවලා තියෙන සංනිවේදන චන්ද්‍රිකා ඔස්සේ අලියා ඉන්න තැන හරියටම නිවැරදිව දක්වනවා. ඒ අනුව සිතියම් සකසා ගන්න පුලුවන්. මෑත කාලෙදි දෙපාර්තමේන්තුව අල්ලලා ඈත කැලෑවලට ගෙනිහින් දාපු ( පරිස්ථානගත කිරීම - Capture & Translocation) මැර අලි සේරටම වගේ කොලර් දාලා උන්ගෙ හැසිරීම පසු විපරම් කළා. එහිදී ලැබුණු සමහර තොරතුරු විශ්මයජනකයි.

එකපාරක් හම්බන්තොට කුණුවලක බැහැගෙන ජරාව කන්න පුරුදු වෙලා හිටපු අලියෙක් අල්ලලා කොලර් එකක් දාලා ගෙනිහින් යාල මැණික් ග‍ඟෙනුත් එහා පැත්තට දැම්මා. සම්පූර්ණ දුර කිලෝ මීටර් හතලිහකට වැඩියි. ඌ දවස් හතරක් ඇතුලත විදුලි වැටකිනුත් පැනලා ආපහු හම්බන්තොටට ඇවිත් ආයෙත් ජරාව කන්න පටන් ගත්තා. මාදුරු ඔයට ගෙනිහින් දාපු ගල්ගමුව පැත්තෙන් අල්ලපු අලියෙකුත් ඒ වගේම දවස් කීපයකට පස්සෙ ආපහු ගමට ආවා පාර හොයාගෙන. තවත් ඒ වගෙ ගෙනිහින් දාපු අලියෙක් තිරිකුණාමලේට ගිහිල්ලා මූදෙ පැන්නා. පස්සෙ නේවි එකේ කොල්ලො ගිහිල්ලා උගෙ කකුලට කඹයක් බැඳලා ඇදගෙන ඇවිත් ගොඩට දැම්මා. ඒ පාර ඌ ගිහිල්ලා ලිඳක පැනලා මැරුණා.

ඉතින් මේවගෙ දේවල්වලින්  වනේ ඉන්න අලි දෙපාර්තමේන්තුවට උගන්නපු පාඩම තමයි අපි ගහන පදේට නටන්න උං ලෑස්ති නෑ කියන එක. උපන් දා ඉඳලා නෑදෑයොත් එක්ක ජීවත්වුනු ගම දාලා නන්නාඳුනන පලාතකට ගිහිල්ලා අතරමං වෙනවට වැඩිය, ආපහු එන්න පාර හොයාගන්න බැරිනම් මූදෙ හරි ලිඳකට හරි පැනලා මැරෙන එක හොඳයි කියලා උන්ට හිතෙනවා ඇති. අලියෙක් වියලි කාලයෙදි, තෙත් කාලයෙදි, කන්න බොන්න තියෙන තැන්, ඒවට යන එන පාරවල් දන්නෙ තමන් උපන් දා ඉඳං ජීවත්වෙන නිවාස පරාසය තුළ දි විතරයි. ජීවිතේට නොදැකපු පලාතකට අරගෙන ගිහිල්ලා දැම්මහම, කරකවලා අතහැරියා වගේ මඤ්ඤං වෙනවා.

ඉතින් මේ අත් දැකීම් නිසා දෙපාර්තමේන්තුව දැං හිතුමතේට වල් අලි අල්ලලා තැන් තැන්වල ගිහිල්ලා දාන්නෙ නෑ. අල්ලා ඉවත් කිරීමේ ක්‍රමවේදය දැන් භාවිතා කරන්නේ අත්‍යාවශ්‍ය අවස්ථාවලදි විතරයි.   ඉදිරියෙදි ලුණුගම්වෙහෙර, හොරොව්පොතාන වගෙ තැන්වල විශාල ප්‍රදේශ කො‍ටු කරලා 'අලි ‍රැඳවුම් - Elephant Holding Ground' ඇති කරලා ඒවට විතරක් අල්ලගන්න මැර අලි ගෙනිහින් දාන්න සැලසුම් කරලා තියෙනවා. ඒවා තුළ අලින්ට අවශ්‍ය තරම් ආහාර හා ජලය සැපයෙන විදියට පරිසර කළමනාකරණය කෙරෙනවා.


ඉතින් මේ සමග තියෙන පින්තූරවලින් අලි කොලර් පැලඳ වීමේ මෙහෙයුමක් පියවරෙන් පියවර බලා ගන්න
පශු වෛද්‍ය තාරක ප්‍රසාද් සහ පශු වෛද්‍ය ධර්මකීර්ති
පුලුවන්. 2009 නොවැම්බර් මාසෙදි කවුඩුල්ල ආසන්නයෙ තැනක හිටපු රංචුවක නායක ඇතින්නියෙකුට තමයි මේ කොලර් එක පැලඳුවේ. දෙපාර්තමේන්තුවෙ අධ්‍යක්ෂ (වනජීවී සෞඛ්‍ය) පශු වෛද්‍ය තාරක ප්‍රසාද් සහ පශු වෛද්‍ය ධර්මකීර්ති තමයි කටයුත්ත මෙහෙයුවෙ. වන අලි ගැන ප්‍රකට පර්යේෂකයෙක්වන ආචාර්ය, වෛද්‍ය පෘතුවිරාජ් ප්‍රනාන්දු සහ එයාගෙ බිරිඳ ජෙනිෆර් ගෙ තාක්ෂණික සහායත් ලැබුණා.

 වෛද්‍ය ධර්මකීර්ති රබර් ඇහැ දාගෙන ඉන්දෙද්දි නිර්වින්දන බෙහෙත අඩංගු විශේෂ සිරිංජය සකස් කරන්නෙ වෛද්‍ය තාරක. අධ්‍යයනයේ අරමුණට ගැලපෙන අලියා ‍තෝරගෙන හොඳට නිරීක්ෂණය කරලා, ශරීර බර, සෞඛ්‍ය තත්වය අනුමාන කරලා තමයි බෙහෙතෙ මාත්‍රාව (Dose) තීරණය කරන්නෙ.

ගුවන් විදුලි සංඥා නිකුත් කරන යන්ත්‍රය සවි කරලා තියෙන්නෙ ඉතාම ශක්තිමත් පටියකට. බාධාවක් නැතුව අහසෙ තියෙන සන්නිවේදන චන්ද්‍රිකාවලින් එන සංඥා ලබා ගන්න ඕන නිසා යන්ත්‍රය අලියගෙ බෙල්ලෙ උඩ පැත්තෙ රඳවන්න ඕන. ඒ සඳහා තමයි පටියෙ යට පැත්තෙ බරකුත් යොදලා තියෙන්නෙ.

දසනායක සූදානම් වෙමින්
නිර්වින්දන බෙහෙත අඩංගු සිරිංජය විදින්න විශේෂ තුවක්කුවක් (Capture Gun) භාවිතා කරනවා. අඩවි ආරක්ෂක නිලධාරි දසනායකට තමයි ඒ වගකීම පැවරෙන්නෙ.

ඊට පස්සෙ කැලේ ඇතුලෙ ඉන්න අලි රංචුව හොයාගෙන ගියා. මෙහි දී පෙරමුණ ගන්නෙ අඩවි ආරක්ෂක නිලධාරි රංජිත් විජිත සහ ගෝල බාල පිරිස.

අලි සළකුණු
සළකුණු ඔස්සේ අලි රංචුව සොයා යන ගමන
අලි රංචුවෙ අඩි සළකුණු, දුම් දාන උණු උණු බෙටි, අතු කඩාගෙන කාපු සලකුණු, අතු ඉති නැමිලා තියෙන පැත්ත, අලි ගඳ වගේ සලකුණු ඔස්සේ අලි රංචුව ඉන්න තැන ආසන්නයට කස්ටිය එක්ක යන්න ඔවුන් දක්ෂයි. අලි රංචුවෙ සද්ද බද්ද, ඇහෙන නෑහෙන මානයට ගිහිල්ලා කස්ටිය නවත්තලා රංජිත් සහ දසනායක දෙන්නා විතරක් අලි රංචුව ගාවට යනවා. රංචුවට ඉව නොවැටෙන්න ලඟා වෙලා, නියමිත සතාටම බෙහෙත විද ගන්න එක දසනායක ගෙ රාජකාරිය. ඔහුට ආරක්ෂාව සපයන්නෙ රංජිත්. උන් දෙන්නා වැඩේ කරනකම් අනිත් එවුන් දෙගිඩියාවෙන් බලාගෙන ඉන්නවා. ඒ රාජකාරිය මීට කලින් කරපු අඩවි ආරක්ෂක නිලධාරි මන්සූර් මහත්තයා කාලෙකට ඉස්සර, නිර්වින්දක බෙහෙත කාගෙනම ආපහු හැරිලා ආපු අලියෙක් ගහලා එතනම මැරුණා.

අලි රංචුව මේ ළඟම, රංජිත්ගෙන් කස්ටියට උපදෙස්.
දකුණු කෙලවරේ බිම ඉඳගෙන ඉන්නේ ජෙනිෆර්,
කැප් එක දාගෙන, පි‍ටුපාලා, හිටගෙන ඉන්නේ පෘතු
කස්ටියට හුස්ම වැ‍ටුනේ නියමිත සතාට, අවශ්‍ය විදියට බෙහෙත එන්නත් උනා කියලා ආපහු ආපු දසනායක දැනුම් දුන්නට පස්සෙ. නිර්වින්දක බෙහෙත ක්‍රියාත්මක වෙලා සතා බිම වැටෙන්න විනාඩි දහයක් විතර යනවා. සතා හොයාගෙන යාම ආරම්භ කරන්නෙ ඊට පස්සෙ.

නිර්වින්දනය වූ ඇතින්න හොයාගෙන ..
හැකි ඉක්මනින් සතාව හොයාගෙන ගුවන්විදුලි සංඥා යන්ත්‍රය සවි කරපු කොලර් එක අලියගෙ බෙල්ලෙ පලඳවන එක තමයි ඊලඟ අභියෝගය. ඒකට ලැබෙන්නෙ විනාඩි විස්සක විතර කාලයක්. ඒ කාලය අවසානයේදි කොලර් එක දැම්මත් නැතත්, ප්‍රති නිර්වින්දක බෙහෙත (Antidote) එන්නත් නොකළොත් අලියා සෙත්ත පෝච්චි. නැවතත් සලකුණු ඔස්සේ ගිහින් වැටිලා හිටපු සතාව හොයාගෙන කස්ටිය ගේමට බැස්සා. ඒ අස්සෙ ධාරානිපාත වැස්සක් වහින්න ගත්තා. නිර්වින්දනය කරපු සතෙක් තෙමෙනවා කියන්නෙ ලැබෙන කාලය තවත් කෙටි වීමක්.

ඇතින්නට ස්වසන අවහිරයක් ඇත්දැයි සොයා බලමින් ..
වේගවත්ව ...
ඒ වෙලාවට කණ්ඩායමේ හැම කෙනෙක්ම තමන්ගෙ රාජකාරිය දැනගෙන, ඒක හරියට කරන්න ඕනෑ. දොස්තර මහත්තුරු අලියගේ ස්වසනය, හෘද ස්ඵන්දනය වගේ දේවල් ගැන විමසිලිමත් වෙනකොට තව කස්ටියක් අලියගෙ උස, යටි පතුලෙ පරිධිය වගේ මිනුම් ලබා ගන්නවා. කොලර් එක සවි කරන කස්ටිය ඒ වැඩේ කරනවා. මේ සියල්ල සිදුවෙන අතරේ අවට ගැන සෝදිසියෙන් ඉන්නත් ඕනෑ. නායක ඇතින්න වැ‍ටුනහම රංචුවේ අනිත් එවුන් ඒකිව දාලා යන්නෙ නෑ. ඒ කිට්‍ටුවම ‍රැඳිලා ඉඳගෙන පිඹ පිඹ ඉන්නවා. සේරම වැඩ ටික ඉවර උනාට පස්සෙ නියමිත කාලය තුළදි වෛද්‍ය තාරක, අලියගෙ කනේ නහරයකට ප්‍රති නිර්වින්දකය එන්නත් කරනවා.

ප්‍රති නිර්වින්දකය දීපු සතා ඉතාම කෙටි කාලයක දි නැගිටින නිසා ඒවෙන කොට අනිත් අය ගෙනාපු බඩු මුට්‍ටුත් එකතු කරගෙන දුවන්න ඉගිලෙනවා. අලියා දනි පනි ගාලා නැගිට ගන්නකම්ම, තව එකෙක් දෙන්නෙක් එක්ක අලියා පේන මානයේ ඉඳලා අන්තිමට දුවන්නේ රංජිත්.

එදා අපි වැඩේ ඉවර කරලා දුවගෙන එනකොට දෙපාරක්ම අපේ පිටි පස්සෙන් ඇතින්නි ගොරවන සද්දෙ ඇහුනා. පන එපා කියලා සෑහෙන දුරක් දුවලා තමයි කස්ටිය නතර වෙලා හති ඇරියේ. වැස්සට තෙමුනු නිසා ඇතින්නට ඉක්මනින්ම සිහිය ඇවිල්ලා අපි පස්සෙන් එලවගෙන එන්න ඇති. කොහොම උනත් මෙහෙයුම සාර්ථකව අවසන් උන නිසා කාටත් සතු‍ටුයි.

නිවැරදිව ...
ඊලඟ වැදගත්ම වැඩකොටස කෙරෙන්නෙ පෘතු සහ ජෙනී අතින්. ඇතින්නිට පලඳවපු රේඩියෝ කොලර් එකෙන් එන තොරතුරු අනුව සිතියම් සකස්කරලා දෙපාර්තමේන්තුවෙ අදාල නිලධාරීන්ට විද්‍යුත් තැපෑලෙන් (e-mail) යොමු කරන්නේ ඔවුන්. අපි කොලර් කරපු ඇතින්නිට ඒ දෙන්න දාපු නම 'නැන්සි'. ඒකිත් එක්ක ඒ ආසන්නයෙදි කොලර් දාපු තවත් ඇතින්නියො තුන් දෙනෙක්, අවුරුද්දක් තිස්සෙ ගැවසුනු තැන් පිලිබඳ තොරතුරු ජෙනී සකස් කරපු සිතියමේ දැක් වෙනවා. සුදු පාට ලොකු රවුමෙන් දැක්වෙන්නෙ නැන්සිට කොලර් එක දාපු තැන. සුදු පාට පුංචි තිත්වලින් දැක් වෙන්නෙ ගැවසුනු තැන්. සුදු පාට තරු ලකුණින් දැක් වෙන්නෙ අවසානයට හිටපු තැන.  ඒ අනුව 2010 අගෝස්තු වෙනකොට නැන්සි තමන්ගෙ රංචුවත් එක්ක හබරන, මින්නේරිය, ගිරිතලේ පහු කරගෙන පරාක්‍රම සමුද්‍රයට ඇවිල්ලා. අනිත් පාටවල්වලින් දැක්වෙන්නෙ කොලර් දාපු අනිත් ඇතින්නියන්ගෙ ගැවසීම් රටා. එක ඇතින්නක් මින්නේරිය, කවුඩුල්ල වනජීවී රක්ෂිතවලින් පිට වෙලා හබරන හරහා ඉනාමලුව දක්වා ගිහිල්ලා.

ඉතින් මේ දත්ත වලින් පේනවා, වන අලි තමන්ගෙ සෘතු චලන රටාව සකස් කරගන්නෙ තමන්ගෙ සහ රංචුවේ ආහාර, ජලය, ආවරණ හා සහකරුවන් සොයා ගැනීමේ අවශ්‍යතාවයන් මත මිසක්, අපේ ඕනෑ එපාකම් මත නෙමෙයි බව.  ඒ අවශ්‍යතාවන් මත යන එනකොට කවුරුහරි එකෙක් හරස් උනොත් අල්ලලා පොලොවෙ ගහන එක අරුමයක් නෙමෙයි.  මොළේ කළඳක් හරි තියෙනවා නම් අපි දැනගන්න ඕනෑ උන්ට බාදාවක් නොවී, තියෙන ඉඩම් ප්‍රමාණය නිවැරදිව පාරිභෝජනය කරන්න. නැද්ද මං අහන්නෙ ...?








පරිසරය ගැන ලියවෙන ඉතාම හොඳ බ්ලොග් දෙකක් ...

        http://biodiversityofsrilanka.blogspot.com/
        http://wildlifediaries.blogspot.com/


යන එන ගමන් ගොඩවෙලා බලන්න.






Saturday, November 17, 2012

29. මදුරාසියේ කිඹුල්ලු සහ නයි පොළොංගු

ගියපාර පෝස්ට් එකේ කියවුනා වගේ බිලිගිරි රංගාවෙ ඉඳලා මයිසෝරය හරහා ආපහු බැංගලොරයට ඇවිත්, කෝච්චියෙන් මදුරාසියට (චෙන්නායි) එනකොට පාන්දර වෙලා. නවතින්න ලෑස්ති කරලා තිබුනු හෝටලෙන් වෑන් කීපයක් දුම්රියපොලටම එවලා තිබුනු නිසා කරදරයක් නැතිව හෝටලේට ආවා. 

එදා දවස විවේක දිනයක් හැටියට වැඩසටහනේ දක්වලා තිබුනත් කස්ටිය කාමරවලට බෑග්මලු ටික දාපු ගමන්ම වීදි සංචාරය ඇරඹුවා. මීට පෙරත් දෙතුන් වරක් ,මදුරාසියට ඇවිත් දැක පුරුද්ද තිබුනු මට නගරයේ ඇවිදගෙන යනකොට හැමතැනකම වගේ බැංගලොරයෙදි වගේම දකින්න ලැබුනේ අලුතින් සිදුවන නගර සංවර්ධනයේ සලකුණු. දැවැන්ත කුළුණු මත ඉදිවෙන අහස් පාලම්, මෙට්‍රෝ දුම්රිය මං  වගේ ම මාර්ග අතර හරිත උද්‍යානත් ඉදිවෙලා තිබුනා. උද්‍යානවල තිබුණු ජොගිං ට්‍රැක්වල මැන්ටල් ජෝඩු හති දදා, අතපය විසිකරකර ඇවිද්දා, ලංකාවෙ වගේම. දැක්කහම දුකත් හිතෙනවා.

එදා දවස කඩවල් පීරලා අඹුදරුවන්ට රෙදිපිළි, තෑගි බෝග අරගෙන ඊලඟ දවසෙ තමයි කස්ටිය මදුරාසියේ කිඹුල් බැංකුව (Madras Crocodile Bank ) බලන්න ගියේ. කටට පහසුවට, කෙටියෙන් එහෙම කිව්වට ඒකේ නිල නාමය මදුරාසි කිඹුල් බැංකු භාරය සහ උරගවිද්‍යාව සඳහා මධ්‍යස්ථානය (Madras Crocodile Bank Trust and Centre for Herpetology).

මදුරාසියේ සිට කිලෝමීටර හතලිහක් විතර දකුණෙන්, අක්කර අටක විතර භූමියක පිහි‍ටුවලා තියෙන කිඹුල් බැංකුව 1976 දි ආරම්භ කරලා තියෙන්නෙ ඉන්දියාවෙ සම්මානනීය උරග සංරක්ෂණවේදියෙක්වන රොමියුලස් විටේකර් (රොම්) එයාගෙ බාරියාව සායි ත් එක්ක එකතුවෙලා. ඒ වෙනකොට වඳවීමේ තර්ජනයට උපරිමයෙන් මූණපාලා තිබුනු  ඉන්දියානු කිඹුල් විශේෂ තුනට අයත් සත්තු බෝ කරලා ආපහු ස්වාභාවික පරිසරයට මුදා හැරීම තමයි කිඹුල් බැංකුවේ ආරම්භක අරමුණ වෙලා තියෙන්නේ. මේ වෙනකොට ස්වාභාවික පරිසරවල ඇතිවෙලා තියෙන අහිතකර තත්වයන් නිසා දැන් කිඹුල්ලු නිදහස් කිරීම නතර වෙලා තිබුනත් උරගයින්ගෙ සංරක්ෂණයට අදාලවෙන පර්යේෂණ කටයුතු බොහොමයක් එතන කෙරෙනවා. අන්දමන් දූපත්වල හා බටහිර ඝාට් කඳුවැටියේ අගුම්බේවලත් ඊට අනුබද්ධ ක්ෂේත්‍ර පර්යේෂණ මධ්‍යස්ථාන පිහිටලා තියෙනවා. ඒ වගේම සත්වොද්‍යානවලට අවශ්‍ය සතුන් සැපයීමත් කෙරෙනවා. කිඹුල් බැංකුවෙ කෙරෙන සියලු දේ සංචාරකයන් සඳහා විවෘතයි.

බැංකුවෙ තැන්පත් කරලා ඉන්න කිඹුල්ලු
අපි කිඹුල් බැංකුවට යනකොටම ඒකෙ අධ්‍යක්ෂ ඕස්ට්‍රේලියානු ජාතික කොලින් ස්ටීවන්සන් සහ සංරක්ෂණ හා පර්යේෂණ කටයුතු භාර අධ්‍යක්ෂ රවි චෙල්වම් අපිව බොහොම සාදරයෙන් පිළි අරගෙන බැංකුවෙ තැන්පත් කරලා තුබුනු කිඹුල්ලු බලන්න එක්ක ගියා. රවි ලංකාවටත් කිහිප වරක්ම ආපු, හුරු පුරුදු කෙනෙක්.

 ලෝකෙ ඉන්න කිඹුල් විශේෂ 23 න් 18 ක්ම එහි ඉන්න බවත්, ලොව වැඩිම කිඹුල් එකතුව බවත් කොලින්ගෙන් කියවුනා. ඉබ්බන්, කැස්බෑවන් ඇතුළු අනෙක් උරග සත්තුත් එක්ක ඉන්න මුලු සතුන් සංඛ්‍යාව 2500 ක් විතර. වටේට තාප්ප ඉදිකරපු විශාල ‍රැඳවුම් පොකුණුවල කිඹුල්ලු වැඩි දෙනෙක් ඉවුරට වෙලා කටත් ඇරගෙන අව්ව තපිමින් තමයි හිටියේ. එහෙම කටවල් ඇරගෙන ඉන්නේ උන්ගේ ශරීර උෂ්ණත්වය යාමනය (පාලනය) කරගන්නලු.

ඉන්දියානු ගැරියල් කිඹුලා
අපේ රටෙත් ඉන්න හැල කිඹුලා (Marsh Crocodile) සහ ගැටකිඹුලට (Estuarine Crocodile) අමතරව ගැරියල් (Garial) කියලා මාලු මතම යැපෙන කිඹුල් විශේෂයක්  ඉන්දියාවෙ ඉන්නවා. හොම්බ හීනි, දිග නිසාත්, පිරිමි සතාගෙ උඩ හනුවේ නාස් ගැටේ නිසාත් ඌ පහසුවෙන්ම හඳුන ගන්න පුලුවන්. ගංගා නදිය හා ඒ ආශ්‍රිත ගංගාවල විසිරිලා ඉන්න ගැරියල්, ස්වාභාවික වාසස්ථාන අහිමි වීම නිසා මේ වෙනකොට අතිශයින්ම තර්ජනයට ලක් වූ සතෙක් විදියට සැලකෙනවා.

වෛද්‍ය ගෞරි, කොලින්, සහායකයෙක් සහ හොම්බෙන් බාගයක් අහිමි කරගත් ගැරියලා


සත්තුන්ගෙ සුබසාධනය පිළිබඳ වගකීම දරන්නේ පශු වෛද්‍යවරියක් වන ගෞරි. ඇය ගෝල බාලයොත් එක්ක ගැරියල් කිඹුලන්ට මාලු කන්න දෙනවා අපිට දකින්න ලැබුනා. එක ගැරියලෙකුගෙ උඩ හනුවෙන් බාගයක් විතරයි තිබුනේ. අනිත් එවුන් එක්ක වෙච්ච රණ්ඩුවකදී හොම්බෙන් බාගයක් කැඩිලා වෙන් වෙලා.  මාලු රිටක අමුණලා තමයි උගෙ කටට එබුවේ. ගෞරි සමහර කිඹුලන්ට කෑම කන්න කතා කළේ උන්ට දාලා තියෙන නමින්මයි. තමන් වෙත විසි කරන මාලු කලබලයක් නැතිව කාලා ආපහු වතුරට යන කිඹුලන්ට 'ගුඩ් බෝයි ... ගුඩ් ගර්ල් .. ' කියලා ප්‍රශංසා කරන්න ඇය අමතක කලේ නෑ. ඒ වගේ විධානයන්ට හා කට හඬට සත්තු පුරුදු කර ගැනීම උන්ව පාලනය කරගන්න පහසුවක් කියලා තමයි ඇය කිව්වෙ.

නයි මුට්ටි
 කිඹුලන් සංරක්ෂණයට අමතරව නයි පොළොංගු සංරක්ෂණය සඳහාත් විශාල වැඩ කොටසක් එතන කෙරෙනවා. ඒ කටයුතුවලට 'ඉරුලා' (Irula ) ගෝත්‍රික ජනයා ගෙ සහභාගිත්වය ලැබෙනවා. ඔවුන් 1972 ඉන්දියාවෙ වනජීවී සංරක්ෂණ පනත නීතිගත වෙන්න ඉස්සර නයි පොළොංගු අල්ලලා විකුණලා ජීවත්වුනු දකුණු ඉන්දියානු ද්‍රවිඪ ගෝත්‍රික පිරිසක්. සත්ව සම් වෙළඳපොළේ නයි පොළොංගුන්ගෙ සමට ලොකු ඉල්ලුමක් තියෙනවා. ඉන්දියාවෙ සර්පයින් නීතියෙන් ආරක්ෂිත උනාට පස්සෙ ඉරුලාවන් අනාථ උනාලු. 1978 දි මදුරාසි කිඹුල් බැංකුවෙ රොම් විටේකර් ඒකට විසඳුමක් හැටියට ඉරුලාවන් එකතු කරලා සමුපකාර සමිතියක් හදලා සර්ප විෂ එකතු කරලා විකුණන ව්‍යාපාරයක් ආරම්භ කළාලු.
විෂ දළ

එකතු කරගත් විෂ
ඉරුලාවන් සර්ප විෂ එකතුකරන විදිය අපිටත් දකින්න ලැබුනා. ඉරුලාවෙකුට මුට්ටියක දාලා හිටපු පත තිත් පොළ‍ඟෙක් එලියට අරගෙන උගෙ බෙල්ලෙන් අල්ලලා පුංචි වීදුරු භාජනයකට විෂ එකතු කරගන්න ගතවුනේ විනාඩි කීපයක් විතරයි. ප්‍රතිවිෂ නිෂ්පාදනය කරන ඉන්දියානු ආයතනවලින් ඒ විෂවලට  ලොකු ඉල්ලුමක් තියෙන බව කියැවුනා. සමිතියෙ සාමාජික ඉරුලාවන් කැලෙන් අල්ලගන්න සර්පයින් මුට්ටිවල දාලා තියාගෙන සතියකට එකපාර ගානෙ හතර වරක් විෂ එකතු කරලා, වන සංරක්ෂන නිලධාරීන්ගෙ අධීක්ෂණය යටතෙ ආපහු රක්ෂිත කැලෑවලටම මුදා හරිනවලු. ගෝත්‍රික ජනතාවකගෙ සාම්ප්‍රදායික දැනුම නීත්‍යානුකූල ව්‍යාපාරයකට යොදාගෙන තියෙන හැටි අපූරුයි කියලා මට හිතුනා.


ඊට අමතරව ඉබ්බො කැස්බෑවො විශේෂ රාශියකුත් දකින්න ලැබුනා. සේෂෙල්ස් දූපත්වල ජීවත් වෙන අල්ඩබ්‍රා යෝධ ඉබි තඩියො කීප දෙනෙකුත් හිටියා. (Aldabra Giant Tortoise) ගලපගෝස් යෝධ ඉබ්බන්ට විතරක් දෙවෙනි වෙන උගෙ ක‍ටුව මීටර 1.2 ක් විතර වෙනවා. බර කිලොග්‍රාම් 225 ක්ලු.

යෝධ ඉබ්බො දිහා බල බල ඉන්නකොට අපට ඒ කිට්‍ටුව තියෙන පුංචි ඉබි ‍රැඳවුමක පඳුරක් අස්සෙන් 'ටොක් .. ටොක් .. ' කියලා සද්දයක් ඇහුනා. බලනකොට ඉබි මල්ලි කෙනෙක් නංගියෙක්ව තල්ලු කරගෙන පඳුර අස්සට රිංගනවා. අපි ඉතින් ඒවට ගල් ගහන්න ගියේ නෑ. පින්තූරයක් අරගෙන මාරු උනා. ඉබි මල්ලිගෙ පිටේ තියෙන බොත්තම උගෙ ඇඟේ උෂ්ණත්වය මනින්න සවි කරපු උපකරණයක් කියලා දැනගන්න ලැබුනා. ඒ වෙලාවෙ නම් උෂ්ණත්වය උපරිම වෙලා තියෙන්න ඇති.

ඉතින් මදුරාසි කිඹුල් බැංකුවෙ පැය කිහිපයක හොඳ අධ්‍යයනයකට පස්සෙ අපේ දින දහයක ඉන්දියානු සංචාරයෙ අවසානයටත් ලඟාවුනා. මදුරාසි කිඹුල් බැංකුව කියන්නෙ රොමියුලස් විටෙකර් කියන තනි මිනිහෙකුගෙ හිතේ පැලවුනු අදහසක්. අද ඒක වසරකට මිලියන බාගයක් මිනිස්සු ගිහිල්ලා උරගයින් ගැන, සංරක්ෂණය ගැන කරුණු දැන ගන්න තැනක් බවට පත් වෙලා. ඒ වගේම උරග සංරක්ෂණය සඳහා අවශ්‍ය පර්යේෂණාත්මක තොරතුරු ලබාදෙන තැනක් බවට පත් වෙලා. ඒ ගැන හිතන කොට මට මේ ළඟදි අහන්න ලැබුනු එක කියමනක් මතක්වුනා. 'වෙනසක් කිරීමට ඔබ පුංචි වැඩි යැයි ඔබට සිතේ නම්, මදුරුවෙක් සමග නිදා ගන්න උත්සාහ කර බලන්න ...' මගේ මතකය නිවැරදිනම් ඒක කියලා තියෙන්නේ දලයි ලාමාතුමා.