මගෙ යාලුවෝ

Sunday, May 13, 2012

19. 1985 මැයි 14


තවත් සතියක් දෙකක් යනකම් අලුත් පෝස්ට් එකක් දාන්න අදහසක් නොතිබුනත්, හදිසියෙම හැම අවුරුද්දකම මැයි 14 වෙනිදට මතක් වෙන එක සිද්ධියක් නිසා මේ කතාව ලියන්න හිතුනා.

1983 ජුලියෙදි උතුරෙන් විහිදුනු කොටින්ගෙ අඬු පඬු, 1985 වෙනකොට නැගෙනහිරටත් විහිදිලා තිබුනා. මුලදි උන්ගෙ ඉලක්කය උනේ රජයේ කාර්යාල. අම්පාර දිස්ත්‍රික්කයෙ පහල කෙලවරේ කුමන තිබුනු අපේ කාර්යාලයෙ  තිබුනු සේරම උන් දෙපාරක්ම ඇවිත් මංකොල්ල කාගෙන ගියා. අපි බැරිම තැන සේරම අතෑරලා එතනින් ඉවත් උනා.

වෙනත් සේවා ස්ථාන බලාපොරොත්තුවෙන් කොලඹ ප්‍රධාන කාර්යාලයට ඇවිත් හිටපු අපිට, මැයි 14 දා දවල් වෙනකොට තමයි ඒ කාලකන්ණි ආරංචිය ලැබුනේ. අනුරාධපුරේ බස් නැවතුමෙයි, ශ්‍රී මහා බෝධිය ගාවයි හිටපු අහිංසක මිනිස්සු මරා දාපු කොටි, ආපහු යනගමන් විල්පත්තුවෙදි වනජීවී නිලධාරීන් හා සේවකයින් විසි ගනණක් මරාගෙන ගිහින් තිබුනා.

විල්පත්තුවෙම බටහිර පැත්තෙන් එලියට ආපු කොටි, එලුවන්කුලමට ඇවිත් පාන්දර බස් එක පැහැරගෙන අනුරාධපුර ටවුමට ඇවිත් 120 කට වැඩි පිරිසක් මරාදාලා, හුනුවිලගම ප්‍රධාන පිවිසුමෙන් ආපහු විල්පත්තුවටම ඇතුල් වෙලා තිබුනා. ඉස්සෙලාම උන් පිවිසුම් කාර්යාලයෙ හිටපු ඒබ්‍රහම් මහත්තයා අල්ලගෙන අනෙක් නිලධාරීන්, සේවකයින් සේරම පෝලිමට තියලා වෙඩි තිබ්බා. 10 ක් එතනදි මැරුණා.  තුවාල වෙලා බේරුනු දෙන්නෙක් තවම ජීවතුන් අතර ඉන්නවා. ඊට පස්සෙ විල්පත්තුව ඇතුලෙ මරදන්මඩුවෙදි 8කුත්, මරවිලදි 4 කුත්, මොල්ලිකුලමෙදි 2 කුත් මැරුවා. පාර අහගන්න බලෙන්ම අරගෙන ගිය ඒබ්‍රහම් මහත්තයා මරදන්මඩුවෙදි පණ බේරගෙන පැනලා ඇවිත් පස්සෙ විස්තරේ කියලා තිබුනා.

1949 ඉඳන් අවුරුදු 62 ක වන ජීවී සංරක්ෂණ ඉතිහාසයෙදි වරින් වර නොයෙකුත් හේතු නිසා නිලධාරීන් රාජකාරියෙ යෙදී සිටිය දී අනතුරට පත් වෙලා, මරණයට පත් වෙලා තිබුනත්, විල්පත්තුවෙදි 24 දෙනෙක් එකවර මියයාම අපට ලොකු කම්පනයක්වුනා. අනුරාධපුර සිද්ධියෙදි ලොකු පිරිසක් මැරුණ නිසා රටේ අනිත් අයට නම් ඒ වෙලාවෙ ඒක ලොකුවට දැනෙන්න නැතුවට ඇති.

1989 අගෝස්තු වෙනකොට මමත් හිටියෙ විල්පත්තුවෙ.  ඒ වෙනකොට තවත් කිහිප පාරක්ම කොටි ඇවිත් අපේ දෙතුන් දෙනා මරලා තිබුනා. අලි මදිවට හරක් කියලා ඒ වෙනකොට අපේ දේශප්‍රේමී සහෝදරවරුත් වැඩ පටන් අරගෙන තිබුනේ. අපි උද්‍යාන පිවිසුමේ නිල නිවාසවල හිටියේ දවාලට විතරයි. රෑට ඇතුලෙ තැන් තැන්වල හැංගි හැංගි තමයි පන බේරගෙන හිටියේ.

එදා පඩි දවස. උදේ පාන්දර ලොක්කා, වසීර් මහත්තයා, ඇවිත් මටයි, මගේ අල්ලපු ඇඳේ නිදාගෙන හිටපු අම්පිටියටයි කෑ ගහලා කිව්වා 'අයිසෙ පඩි ගේන්න යන්න ලෑස්ති වෙනවා..' කියලා. අම්පිටියා දඩි බිඩි ගාලා නැගිටලා මූණ හෝදගෙන ලෑස්ති උනා. නැගිටින්න කම්මැලිකමේ මම එහෙමම ඉඳගෙන ඌට කිව්වා 'මචං සීනි ඉවරයි .. එනකොට සීනි ටිකක් ගෙනෙං .. ' කියලා. 'මං යනවා මචං ...' කියලා ඌ කලිසම ඇඳ ඇඳ ලොක්කා පස්සෙ දුවනවා මට තාම මතකයි.

හැන්දෑවෙ කලුවර වැටෙනකනුත් පඩි ගේන්න ගිය වාහනේ ආවෙ නෑ. රෑ රේඩියෝ එකේ රජරට ප්‍රවෘති අහනකොට තමයි දැනගත්තේ දේශප්‍රේමියෝ වාහනේට වෙඩි තියලා අම්පිටියයි, පොලිස් නිලධාරීන් දෙන්නෙකුයි මරලා පඩි සල්ලි බෑග් එකයි, තුවක්කුයි අරගෙන ගිහිල්ලා කියලා. ඊට කලින් මාසෙ පඩි ගේන්න ලොක්කත් එක්ක ගියේ මම. දේශප්‍රේමීන්ගෙ ජාත්‍යාලෙ මාසයකට කලින් පහල උනානං මේ බ්ලොග් එක කවදාවත් ලියවෙන්නෙ නෑ. මැරෙන්න ඕන එවුං ඉතුරුවෙලා, ඉතුරුවෙන්න ඕන එවුං මැරෙන එක සාමාන්‍ය ලෝක ස්වභාවය නේ. උපුල් සෙනරත් අම්පිටිය කියන්නෙ ‍රැයක් දවාලක් නැති, දහ දෙනෙක්ගෙ වැඩ තනියම කරපු එකෙක්.

ඊට පස්සෙත් අවස්ථා බොහෝ ගනණකදිම වනජීවී නිලධාරීන් කොටි අතින් මරණයට පත් උනා. 1990 ජනවාරියෙ කුමන කිට්‍ටුව කුඩුම්බිගල දි මගේ පළමු වන්ජීවී ගුරුවරුන් දෙන්නගෙන් එක්කෙනෙක්, අරුල් අය්යා කොටි අතින් වෙඩි කාලා මැරුණා. සේරම හතර දෙනෙක් මැරුණ ඒ සිද්ධියෙදි මගේ බැචෙක්, කේටීපී පෙරේරා ත් මැරුණා. කේටීපී මැරෙණ වෙලාවෙ දරුවා මතක් වෙලා  ' අනේ මගේ දුව .. ' කියලා ඇඬුවලු. වෙඩි කාලා වාහනේ අතුලෙම වැ‍ටුනු අයට යට වෙලා බේරුනු යසරත්න තවමත් දෙපාර්තමේන්තුවෙ සේවය කරනවා.

ලංකාවෙන් ත්‍රස්තවාදීන් අතුගාලා දානකොට, වරින් වර උන් අතින් වනජීවී නිලධාරීන් 40 ක් මැරිලා තිබුනා. පැහැරගෙන ගිය සමහර අයගෙ සිරුරුවත් හම්බ උනේ නෑ.

ත්‍රස්තවාදීන්ගෙන් ඇරුනහම අනෙක් වැඩිම තර්ජනය තියෙන්නේ දඩයක්කාරයන් ගෙන්. දෙපාර්තමේන්තු ඉතිහාසයෙ මේ වෙනකොට නිලධාරීන් 11 දෙනෙක් දඩයක්කාරයින් ගෙන් වෙඩි පාරවල්, පොලු පාරවල්, පිහිපාරවල් කාලා මැරිලා තියෙනවා.
 
වනසතුන් අතිනුත් වනජීවී නිලධාරීන් 14 දෙනෙක් මේ වෙනකොට මැරිලා තියෙනවා.  එයින් 12 දෙනෙක්ම මැරිලා තියෙන්නෙ අලි ගහලා. අනිත් දෙන්නා වලස්සු, වල් මීහරක් පහරදීලා මැරිලා තියෙන්නේ. අත් වැරදීමෙන් ගිනි අවි පත්තු වීම වගෙ අනතුරුවලිනුත් 12 දෙනෙක් මැරිලා තියෙනවා. දෙපාර්තමේන්තු ඉතිහාසයෙ මේ වෙනකොට රාජකාරියෙ යෙදී සිටියදී අනතුරුවලින් මියගිය මුලු සංඛ්‍යාව 77 ක්.  

ඉතින් මීට අමතරව බඳින තුවක්කු පත්තු වෙලා, ගුටි කාලා, පොලුපාරවල්, ඉල්ලං කූරු පාරවල් කාලා, අතපය කඩා ගත්තු, ඔලු පලාගත්තු, කෑලි අඩු කරගත්තු නිලධාරීන් සංඛ්‍යාව සිය ගනණක්. දඩයක්කාරයෙක්ගෙන් පොලු පාරක් කාලා ඔලු කට්ට කුඩු වෙලා, එතනට ප්ලාස්ටික් කෑල්ලක් දාගෙන අවුරුදු පහලවක් විස්සක් තිස්සේ වැඩ කරන නිලධාරියෙක් අදටත් දෙපාර්තමේන්තුවෙ ඉන්නවා. එකපාරක් වස්ගමුව ජාතික උද්‍යානෙ බටහිර මායිමෙ අනවසරයෙන් මැණික් ගරන එවුං අල්ලන්න ගිය අපේ කට්ටියකට මුලු ගමක් වට කරගෙන තැලුවා. පස්සෙ ට්‍රැක්ටරේක පටවාගෙන මහ පාරට ගෙනත් බිමට හලලා ගිහින් තිබුනා. ඒ සිද්ධියෙදි වැටලීම මෙහෙයවපු අඩවි සහකාර ධනසිරි මැරිලා, ඉතුරු හතර පස් දෙනා මාස ගාණක් ඉස්පිරිතාලෙ ලැග්ගා.

ඉතින් මේ තරම් නැහීගෙන මුං කරන මහලොකු රාජකාරිය මොකද්ද කියලා කෙනෙකුට හිතෙන්න බැරි නෑ. අලි කොටි වලස්සු, ගස්වැල් පරිස්සම් කරගන්න ඔච්චර ගුටි කන්න ඕනද ..?

අද අපේ රටේ මුලු බිම් ප්‍රමාණයෙන් 14% කට වැඩිය වනජීවී රක්ෂිත හැටියට ප්‍රකාශයට පත්කරලා, හැම එකාගෙන්ම ගුටි කකා ආරක්ෂා කරගන්නෙ සංඛ්‍යාවෙන් 1200 ක් පමණක් වෙන මේ කස්ටිය. සියලුම මහවැලි ජලාශ ඇතුලු කෘෂිකර්මාන්තයට ජලය සපයන  මහ පරිමාන ජලාශ 40 ක්, ඒවයෙ ජලපෝෂක ප්‍රදේශත් එක්කම ආරක්ෂා වෙන්නෙ ඒ 14% ඇතුලෙ. සේනානායක සමුද්‍රය, උඩවලව, වික්ටෝරියා, රන්දෙනිගල, රන්ටැඹේ, මාදුරු ඔය, පරාක්‍රම සමුද්‍රය, කවුඩුල්ල, කලා වැව,  මින්නේරිය, ගිරිතලේ ජලාශ එයින් කීපයක්. ඒ වගේම මහවැලි, කලු, කැලණි, වලවේ ගංගාවල්වල ජල මූලාශ්‍ර තියෙන්නෙ හොර්ටන් තැන්න සහ සමනල අඩවිය වනජීවී රක්ෂිත ඇතුලෙ. ජල විදුලිය 100%ක් ම වගේ නිපදවන්නෙ වනජීවී රක්ෂිතවලින් එන ජලයෙන්. අවුරුද්දකට ජාතික උද්‍යානවල සංචාරක කර්මාන්තයෙන් ජාතික ආර්ථිකය ලබන ආදායම මිලියන 540 කට වැඩියි.

මේ වගේ බැලූ බැල්මට නොපෙනෙන, වනජීවී සංරක්ෂණයේ පැතිකඩ ගනණාවක් තියෙනවා. ඉතින් මේවා ගැන නොදන්න, නොහිතන, පත්තර ටීවීවල ඉන්න සමහර මාධ්‍ය පොරවල්, වල් අලියෙක් ඇවිල්ලා  කෙහෙල් ගස් දෙකක් පෙරලුවහම, බඩ ඉරිඟු කරලක් කෑවහම, රෑ කරුවලේ වෙරිමරගාතෙ යන බේබද්දෙක් පැත්තකට තල්ලු කරලා දැම්මහම, දන්න සෙල්ලං ඔක්කොම දාලා දෙපාර්තමේන්තුව පතුරු අරිනවා. පොඩි දේකින් ලොකු ප්‍රවෘත්තියක් නිර්මාණය කරලා පත්තර පි‍ටු, ටීවී ස්ක්‍රීන් වහ ගන්නවා. 

ඒවා බලාගෙන ඉන්න අපට කට කොනකින් පොඩි හිනාවක් යනවා. උනුත් ඉතින් ජීවත් වෙන්න, අඹු දරුවන්ට කන්න දෙන්න කීයක් හරි හම්බකර ගන්නනෙ ඒවගෙ දේවල් කරන්නෙ ..නේද ..? ..පව් ...













Saturday, May 5, 2012

18. කලු කොටියා සහ ඇලි - වැලි මුවා


අද උදේ කොල්ලොත් එක්ක කැලේ රිංගපු ජයසූරිය මහත්තයාවයි, කොල්ලන්වයි දෙබරු කාලා. දෙබරු හත් දෙනෙක් කෑවොත් නයෙක් කාපු තරම් විසයි කියලා කතාවක් තියෙනවා. අමාරුද කියලා බලන්න මමත් දුවලා ගියා. මම නිල නිවාසෙට ගිහින් බලනකොට ජයසුරිය මහත්තයා පැනඩෝල් පෙති දෙකක් බීලා ඇවිද ඇවිද හිටියා. දෙබරු, කොන්ඩෙත් අඩු ජයසූරිය මහත්තයගෙ ඔලුවම කාලා, ගෙඩි දෙකක් ඇවිල්ලා. ඒ උනාට ඉතිං ජයසූරිය මහත්තයාට නයි පොළොංගු කෑවත් එක තැනකට වෙලා ඉඳලා පුරුද්දක් නෑ.

විශ්‍රාම යන්න ආසන්න වයසෙ ඉන්න, වැඩි කතා බහක් නැති, කලුම කලු පාට, උස හීන්දෑරි පෙනුමක් ඇති ජයසූරිය මහත්තයා, හොර බොරු, තක්කඩිකම් කුපාඩිකම් නොකරන, කවුරුත් ගෞරව කරන චරිතයක්. ඉතාම තරුණ වයසෙදි විල්පත්තුවෙන් වනදිවිය අරඹලා දැන් ගිරිතලේ ජාතික වනජීවී පුහුණු කේන්ද්‍රයෙ උපදේශකවරයෙක් වෙලා ඉන්නවා. අද මට ජයසූරිය මහත්තයාගෙ දක්ෂතාව, කැපවීම හා ඉවසීම  නිසාම නිර්මාණයවුනු ගිරිතලේ වනජීවී කෞතුකාගාරය ගැන ලියන්න හිතුනා. මේ වෙනකොට ඒක ලංකාවෙ සියලුම දුලබ වන සත්තුන්ගෙ හම පුරවලා හදාපු නිදර්ශක දකින්න තියෙන කෞතුකාගාරයක්. ඒ සමහර නිදර්ශක ලංකාවෙ වෙන කොහේවත් නෑ.

සතුන්ගෙ හම සංරක්ෂණය කරලා, නිදර්ශකයක් විදිහට පුරවලා සකස් කරන කලාවට කියන්නෙ 'චර්ම පරිකර්ම ශිල්පය' (Taxidermy) කියලා. නිතර අහන්න දකින්න නොලැබෙන දෙයක් නිසා ඒ ගැන ටිකක් විස්තර කළානම් හොඳයි කියලා හිතෙනවා.

දෙපාර්තමේන්තුවෙ කාට උනත්, කොහේදි හරි මැරුණ සතෙක්ගෙ සිරුරක් ලැබුනොත් මතක් වෙන්නෙ ගිරිතලේ. නරක් වෙලා නැත්නම් අයිස් එක්ක පෙට්ටියක දාලා හැකි ඉක්මනින් මෙහාට එවනවා. ජයසූරිය මහත්තයාත් ගෝලබාල පිරිසත් එක්ක පිහි, මන්න ලෑස්ති කරගෙන ඉඳලා සතා ලැබුන ගමන් ගේම පටන් ගන්නවා. වැඩට බැස්සහම ජයසූරිය මහත්තයාට ‍රැයක් දවාලක් නෑ.

මැරිච්ච සතෙකුගෙ හම ඉවත් කරන්න කලින්, ඉස්සෙල්ලාම කරන්නෙ සතාගෙ සිරුරේ දිග පළල සහ අනෙක් වට මිනුම් අරගන්න එක. සතා නැවත නිර්මාණය කරලා ඉවර උනහමත් ඒ මිනුම් ඒ විදියටම තියෙන්න ඕනෑ. නැත්නම් නියම හැඩය එන්නෙ නෑ.

ජයසූරිය මහත්තයාට උදව්වෙන්නෙ නානායක්කාර
ඊට පස්සෙ සතාගෙ බඩ පැත්තෙන් සිරුරෙ දිග අතටත්, අත පය දිගේත් පැලුම් කීපයක් දානවා. කෝට් එක ගලවන්න පටන් ගන්නෙ ඊලඟට. හමට යටින් තියෙන මේද තට්‍ටුව නො එන විදිහට තියුණු සැත් පිහිවලින් (Surgical knives) ඉතාම ඉවසිල්ලෙන් මේ වැඩේ කරන්න ඕනෑ. හිස් කබලයි, කුර, නියපොතු තියෙන සත්තුන්ගෙ ඒවායි, හමේම ඉතුරු වෙන විදියට තමයි හම ගලවාගන්නෙ.

ඉතින් ලොකු සතෙක් නම් හම ඉවත් කරගන්න සමහරවිට පැය හත අටක් ගත වෙනවා. ඊට පස්සෙ ඇල්කොහොල් ද්‍රාවණයෙ  දාලා, ඇලවිලා තියෙන මේද කොටස් හූරලා දාලා, පිරිසිදු කරගන්න සමහරවිට දවස් ගනණක් ගත වෙනවා. හොඳින් පිරිසිදු කරගත්තු හම තවත් රසායනික ද්‍රව්‍ය ගණනාවක් දාලා සතියක් දෙකක් පදම් වෙන්න තියනවා.
නිමකරගත් ආකෘතිය

ඒ අතරතුර සතාගෙ ආකෘතිය හදාගන්නවා. ආකෘතිය හදා ගන්නෙ සතාගෙ නිදර්ශකය හදලා ඉවරවුනහම නිරූපනය විය යුතු  ඉරියව්ව ගැන හිතලා. නිමවුන නිදර්ශකයෙන් ස්වාභාවිකබව මතුවෙන තරමට තමයි නිර්මාණ කරුවාගෙ දක්ෂතාව ප්‍රදර්ශණය වෙන්නේ. ජයසූරිය මහත්තයා ලඟ ඒ දක්ෂතාව උපරිමයෙන් තියෙනබව මේ එක්ක තියෙන පින්තූරවලින්ම පේනවා.


කම්බි නවලා, වෑල්ඩිං කරලා, හදා ගන්න සැකිල්ලට නයිලොන් නූල් වලින් පිදුරු බැඳලා තමයි ආකෘතිය හදා ගන්නෙ. සතාගෙ සිරුරෙන් ලබාගත්ත මිනුම්වලට අනුව හදාගන්න මේ ආකෘතියට හම පොරවන එක තමයි ඊළඟට කරන්නෙ. හම පොරවලා, කොනක ඉඳලා පිදුරුවලට උඩින්, හමට යටින්, කඩදාසි පල්ප්වලින් පුරවන්න ඕනෑ.  ජයසූරිය මහත්තයාගෙ ගෝලයො ටික පරණ පත්තර වතුරෙන් පොඟවලා,  වංගෙඩිවල දාලා කොටලා දෙන පල්ප්, ප්ලාස්ටර් ඔෆ් පැරිස් එක්ක කලවං (කවලං ..?) කරලා තමයි ටිකෙන්ටික සතාව පුරවන්නේ. ඒ එක්කම හමේ කැපුම ටික ටික මහලා වහන්නත් ඕනෑ. ඒ හරිය ජයසූරිය මහත්තයා තනියමමයි කරන්නේ. සතාගෙ මාංශ පේෂිවල හැඩය ගැන පවා හිතලා තමයි ඒ ටික කෙරෙන්නේ.

කඩදාසි පල්ප් එක
කෝට් එක පොරවලා ඉවරවෙලා අවසානයෙදි ඇස් දෙක සවි කරන්න ඕනෑ. ප්ලාස්ටික් තහඩු කෑලි එක මත එක අලවලා, නියම ප්‍රමාණයට රවුමට කපලා, පීරිගාලා,  පොලිෂ් කරලා, සතාගෙ ඇස්වල ස්වාභාවික හැඩය සහ වර්ණය දෙන එක ලේසි වැඩක් නෙමෙයි. ඒවගෙ දෙයක් කරන්න උවමනා ඉවසීම කෙනෙකුට පිහිටන්නෙ ඉතාම කලාතුරකින්. නියම විදිහට සතාගෙ ඇස් දෙක ආවහම නිදර්ශකයට පුදුම ජීවී බවක් ලැබෙනවා.
සතාගෙ ඔලුව පුරවලා, මහලා හදාගන්න එක ඉතාම ඉවසිල්ලෙන් කරන්න ඕනෑ
             


ජයසූරිය මහත්තයාගෙ අතින් නිර්මාණයවුන සුවිශේෂීම නිදර්ශකය තමයි, 2009 වර්ෂයේ දෙනියාය පැත්තේ තේ වත්තකදි, වනසතුන් දඩයම සඳහා ඇටවූ උගුලකට අහුවෙලා මැරුණු, කලු කොටියාගෙ නිදර්ශකය.  කලු කොටියෙකුගේ නිදර්ශකයක්, අපේ ගිරිතලේ ක‍ටුගේ ඇරෙන්න සිරි ලංකාවෙ වෙන කොහේවත් නෑ. කලු කොටියෙක් බිහිවෙන්නෙ ඉතාම දුලබ ප්‍රවේණි ලක්ෂණයක් ප්‍රමුඛ වීමෙන්, ඉතා කලාතුරකින්. ලංකාවෙ මෙතෙක් කලු කොටින් වාර්තා වෙලා තියෙන්නෙ මධ්‍ය කඳුකරයෙ වැසි වනාන්තරවලින් විතරයි. ලෝකෙ අනිත් රටවලත් කලු කොටියා ඉන්නෙ වැසි වනාන්තරවල විතරයි.



හම පෙරවූ ආකෘතිය
සතුන් අතර ඇලි (Albino) සතෙක් බිහි වෙන්නේ සමේ වර්ණය ගෙන යන ප්‍රවේණි ලක්ෂණය යටපත් වීමෙන්. ඒවගෙ සතෙක්, තමන්ට ආවේනික වර්ණ රටාව නොලැබීම නිසා අනිත් සතුන් අතර කැපිලා පේනවා. ගිරිතලේ කෞතුකාගාරයේ ඉන්න ඇලි - වැලි මුවා (Barking deer) පස්සර පැත්තෙදි බල්ලො කාලා මැරිච්ච එකෙක්. කැපිලා පේන සුදු පාට නිසා ඇලි සත්තු පහසුවෙන් විලෝපී සත්තුන්ගේ ගොදුරු බවට පත් වෙනවා.

කබල්ලෑවා, හම්බාවා, උරුලෑවා, හඳුන් දිවියා, වල් බලලා, දිය බල්ලා, ගෝනා, නරියා, මීමින්නා වගෙ නිතර දකින්න නැති සත්තු ගොඩක් ජයසූරිය මහත්තයා හදලා තියෙනවා. මාස ගානක් දිවා රෑ පරිප්පු කාලා හදාපු අඩි 6 ක් විතර උස ඇත් පැටවාගේ නිදර්ශකය අනුරාධපුරේ, තිරප්පනේදි දඩයක්කාරයො වල් ඌරන්ට දාපු 'හක්ක පටස්' කාලා මැරිච්ච එකෙක්. අඩි 8 ක් විතර දිග පිඹුරෙකුත් ඉන්නවා. ඌව  දැකලා ක‍ටුගේ බලන්න එන සමහර ගෑණු දුවනවා.

කොටියෙකුගේ බාහිර ලක්ෂණයි, ඇතුලෙ ඇට සැකිල්ලයි දෙකම දකින්න පුලුවන් විදියට හදලා තියෙන නිදර්ශකය ජයසූරිය මහත්තයාගෙ අපූරු නිර්මාණයක්.


මාදුරු ඔය පැත්තෙ මැරිලා ඉඳලා ගනාපු ගැට කිඹුල් තඩියගෙ දිග 16 කට වැඩියි. කාලෙකට ඉස්සෙල්ලා ඒකනම් හැදුවෙ කොලඹ විශ්ව විද්‍යාලෙ සුරතිස්ස ආචාර්යතුමා. ජයසූරිය මහත්තයා හදාපු හැල කිඹුලෙකුත් ඉන්නවා.

ඉතින් මේක කියවන කස්ටිය පොලොන්නරුව පැත්තෙ ආවොත්, ගිරිතලේ වැව් බැම්ම උඩින් ඇලහැර පාරෙ කිලො මීටර්  2 ක් ඇලහැර පැත්තට ඇවිත් අපේ ක‍ටු ගේ බලලා යනවා නම් අපි කැමතියි. ගිය පාර නිවාඩුවට ලංකාවට ආපු වෙලාවෙ අපේ හෙන්රියා නම් (Henryblogwalker) කොලු පැටියයි නංගියි එක්ක තකහනියක් ඇවිත් දවස් දෙකතුනක් ඉඳලම ගියා.






නිම කල ගෝනාගේ නිදර්ශකය
හැබැයි ඉතින් ආණ්ඩුවෙ වැඩක් නිසා අපේ ක‍ටුගේ බලන්න පොඩි මුදලක් අය කරනවා. සුද්දන්ගෙන් නම් ලංකාවෙ අයගෙන් ගන්න මුදල වගේ දහ ගුණයක් ගන්නවා. අය කිරීම් දැක්වෙන දැන්වීම බලන සුද්දෝ වැඩි දෙනෙකුට මල පනිනවා. උන් ජනේලෙ ගාවට ඇවිත්, අත රවුම් කරලා මූණ වටේට තියලා නොමිලෙම වීදුරුවෙන් ඇතුළ බලලා ආපහු යනවා.

අවුරුද්දෙ දවස් තුන්සිය හැටපස් දවසෙම අපේ ක‍ටුගේ විවෘතයි. සුසන්තට හරි ට්‍රෙවිස්ට හරි කලින් ඇමතුමක් දුන්නොත් පාසල් දරුවො වගේ විශේෂ කණ්ඩායම්වලට වීඩියෝ දර්ශණ ඇතුලත් වනජීවී සංරක්ෂණය ගැන දැනුවත් කිරීමේ වැඩසටහනක් යොදා ගන්න පුලුවන් (027 2246773, 4). ඒවට අය කරන්නෙ නෑ. කෞතුකාගාරය බලන්න එන අයට වැඩිදුර විස්තර ලබාදීලා උදව් වෙන්නෙ ලඟදී දෙපාර්තමේන්තුවෙ සේවයට එක්වුනු ජයසූරිය මහත්තයාගෙ පුතා, අසංක. උගෙත් ඇඟ පුරාම මොළේ. ජීවිතේට සතෙක් කුරුල්ලෙක් දිහා නොබලපු එකෙක් ආවත්, බලෙන්ම වනජීවී සංරක්ෂණය ඇඟේ ගහලා අරින්න දක්ෂයි.


ගිරිතලේ ජාතික වනජීවී කෞතුකාගාරයෙ ප්‍රදර්ශණය වෙන්නෙ වන සත්තුන්ගෙ නිදර්ශක විතරක්ම නෙමෙයි. ඉතාම නිහඬව, කිසිම කං කෙඳිරියක් නැතිව, අවුරුදු තිස් ගනණක් තිස්සෙ මේ රටේ වනජීවී සම්පත් සංරක්ෂණය කරන්න තමන්ගෙ උපරිම කාලය, ශක්තිය හා ජීවිතේ තවත් බොහෝ දේ වැය කරපු මිනිහෙකුගෙ අප්‍රමාණ කැපවීම හා නිර්මාණශීලීබවත් එතන ප්‍රදර්ශණය වෙනවා.

 







කෞතුකාගාරය නිර්මාණය කිරීම වෙනුවෙන්, ජයසූරිය මහත්තයාට චන්ද්‍රසේන ඇමතිතුමාගෙන්  සේවය අගය කිරීමක්